මේ අජිත්. දන්නවද අජිත් කියන නම තියෙන අය තවත් ඕනෑතරම් ඉන්නව. ඒත් මේ අජිත් වගේ වෙන අජිත් කෙනෙක්, මේ මුළු ලංකාවෙම නැහැ. මොකක්ද මේ අජිත්ගෙ විශේෂත්වය?

ඔහු දඹුල්ලේ ගොවියෙක්. වවන්නෙ මල් ගෝවා. ඔහු මුලින්ම ගෝවා වවන්න පටන් ගත්තේ 2012. ඒ වගේම ගොවිතැන ඔහුට අලූ‍ත් දෙයක්. කිසිදු මූලික දැනුමක් තිබුණේ නැහැ. දන්නා කියන අයගෙන් අසා දැනගෙන, කුඩා ඉඩමක තමයි මුලින්ම ගෝවා වගාව ඇරඹුවේ. අනෙක් ගොවීන් වගා නොකරන කාලෙක.

ගංවතුර එයි.. ඕවා හරියන්නේ නැහැ.. ඔන්න ඔය වගේ දිරිමත් කිරීම් ඔහුට නිරන්තරව අසන්නට ලැබුණා.

මල් ගෝවා හිඟ කාලේ මල්ගෝවා වගා කළ ඔහු දඹුල්ලේ ෆුඞ් සිටිය හොයාගෙන ගියේ තමන්ගේ නිෂ්පාදනය විකුණාගන්න හැකි දැයි බලන්නයි. කිලෝ 35ක පළමු මල් ගෝවා අස්වැන්න මිලදී ගන්න ෆුඞ් සිටියෙන් එදිනම වාහනයකුත් ආවා. එදා පටන් අජිත් මල් ගෝවා වවන්නෙක්.

ගොවිතැන කියන්නෙ අව්ව වැස්ස හා මහපොළොව එක්ක කරන දිනුම පැරදුම ගැන අවිනිශ්චිත සූදුවක් වගේ. නියම කාලෙට වැස්ස නොලැබු‍ණොත් ගොවියාගේ වෙහෙස මහන්සිය වගේම බලාපොරොත්තු පවා වතුරේ. එයාටත් එහෙම වුණා. වරක් දෙකක් නොවේ කිහිප වතාවක්ම. ඒත්, විශ්‍රාමික හමුදා සෙබළෙක් වූ නිසාමද මන්දා පරාජය හමුවේ තටු අකුලාගන්න ඔහු සූදානම් නැහැ. අසාර්ථක වුණ හැම වතාවෙම අළු මතින් නැගී සිටි ෆීනික්ස් පක්ෂියා වගේ ඔහු නැවතත් උත්සාහ කළා. අන්න ඒ වුවමනාව, බාධා ගණන් නොගැනීමේ ආකල්පය ඇට මිදුළු ලේ නහරවල සිටම එන්න ඕන දෙයක්. අජිත් කියන මිනිසා තුළ තිබුණ ඒ නොපසුබට උත්සාහය හා වීර්යයත්, ඒ හැමට ඉහළින් නැගී සිටි වුවමනාව හා කැපවීමත් නිසා ඔහු ජයග්‍රහණය කළා.

ගංවතුර නිසා ලක්ෂ දෙක තුන පාඩු විඳින්න වුණාම, වගාවට හානි වුණාම ඔහු කළේ ගංවතුරට හසු නොවන බිමක් වගාව සඳහා තෝරා ගැනීමයි. බුද්ධිමතෙක් වුණ ඔහු වෙළෙඳපොළ හඳුනාගත්තා. ඒ නිසයි මල් ගෝවා හිඟ කාලෙදි අස්වැන්න නෙළන්න වගා කළේ. අනෙක් ගොවීන් වුණත් හැමෝම වවන දෙයින් තරමක් වෙනස් වුණොත් මිළක් ගන්න පුළුවන්. “අස්වැන්න විනාශ වුණේ ස්වභාවික හේතුවක් හින්දා. ඒවා එහෙම තමයි. ඒත් වසර දෙක තුනක්ම දිගටම පාඩු වුණත් එක් වාරයක් මල් ගෝවා අස්වැන්න නෙලූ‍වාම පාඩු සියල්ල පිරිමැහෙනවා.” ඔහු කියන්නේ අත්දැකීමෙන්.

ජීවිතය උදෙසා මේ මහපොළොව එක්ක ගැටෙන මිනිස්සු ලඟ දුෂ්කරතාවලින් නොසැලීමේ මහා ශක්තිය නොඅඩුව තියෙනවා. අජිත් මහපොළොව එක්ක හැපුණේ ඔහුගේ දරු මල්ලන්ගේ හෙට දවස ගැන සිහින දකිමින්. දුප්පත්කම කියන්නෙ හීන දකින්න බාධාවක් නෙවෙයි.

ගොවිකම අලූ‍ත් දෙයක් වූ නිසා මුලදී ඔහුගේ සහයට එන්න තරම් ප්‍රමාණවත් පිරිසක් හිටියේ නැහැ. ඔහු දිගටම වැඩ කරාවිද නැද්ද යන්න අවිශ්වාස නිසා සමහරු ඔහුට අත් උදවු දෙන්නවත් ඉදිරිපත් වුණේ නැහැ. අජිත් එයට සොයාගත් විසඳුම තමයි වැඩියෙන් ගෙවීම. ගෙවීම් හොඳ නිසා මිනිසුන් ඔහු ලඟ වැඩට ආවා. දැන් ඔවුන් ලඟ ස්ථිර සේවකයින් කිහිප දෙනෙක් ඉන්නවා.

අස්වැන්න ලැබෙනකල් ගොවියාගේ සේසත හූරාකන්න බලා සිටි අතරමැදි වෙළෙන්දො වගේ නෙවේ, කාගිල්ස් එක ඔවුන් ලඟින්ම සිටිමින් වගාවට සහයෝගය දුන්නා. ඒ සහයෝගයත් එක්ක අජිත් ඔහුගේ වගා කටයුතු සැලසුම් කළා. ඔහුගේ මහන්සිය අපතේ නොයන බව සහතික වූ නිසා මහපොළොව එක්ක හැපීමේ අවදානම ගන්න ඔහු පැකිලූ‍ණේ නැහැ.

අජිත්ට හැකි වුණා ඔහුගෙ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න. ඒ වගේම ඔහුගේ පුතාත් වගා කටයුතුවලට උදවු කරනවා. අජිත්ගේ පුතා දිල්ශාන්. ඔහුගේ බලාපොරොත්තුව පියාගේ අඩි පාරේ යමින් සාර්ථක ගොවියෙක් වෙන්නයි.

කුඩා ඉඩමකින් වගාව පටන් ගත්තු අජිත්, අද අක්කර ගාණක වගා බිම්වල හිමිකරුවෙක්.. ස්වාධීනව නැගී සිටිය සාඩම්බර වැවිලිකරුවෙක්. රටට අවශ්‍ය මිනිහෙක්.

ජාතික වීරයෝ කියල පාසල්වල උගන්වන්න ඕන මෙන්න මේ වගේ මිනිස්සු ගැන.